Sunday 14 August 2016

33) අපි හැමෝම ඉගෙනගන්න දගලන ඉංග්‍රීසි භාෂාව ගැන....

ඉංග්‍රීසි භාෂාව

Anglospeak(800px).png

EN (ISO 639-1)
ඉංග්‍රීසි භාෂාව යනු එංගලන්තයත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන,අන්ග්ලෝ-සැක්සන් යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ එක්සත් රාජධානියඅත් කරගත් ආර්ථිකමය, විද්‍යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ ඇමෙරිකා එක්සත් ජනපදය අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ ජාත්‍යන්තර බසක් බවට පත් වී තිබේ. එමෙන්ම, ලෝක ව්‍යාපාරික කටයුතු, විද්‍යාත්මක කටයුතු ආදියේදී ප්‍රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්‍රීසි භාෂාවයි. යුරෝපා සංගමය තුළ දෙවන බසක් ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ.


ඉතිහාසය
ඉංග්‍රීසි භාෂාවේ විකාශනය ආරම්භ වී ඇත්තේ විවිධ ආකාර වූ ප්‍රාදේශීය වහර කීපයකිනි. නූතනයේදී 'පැරණි ඉංග්‍රීසි බස' (Old English) ලෙස හැඳින්වෙන මෙය, ක්‍රි.ව. 5 වන සියවසේ දී මහා බ්‍රිතාන්‍ය දූපත් වල නැගෙනහිර වෙරළ තීරයේ වාසය කළ අන්ග්ලෝ-සැක්සන්වරුන්ගේ බස විය.
පසුකාලීනව සිදු වූ වයිකිංවරුන්ගේ ආක්‍රමණ හේතුවෙන් ඉංග්‍රීසි බස තුළ නෝර්වීජියානු භාෂා ලක්ෂණද දක්නට ලැබේ.
1066 දී ප්‍රංශයේ නෝමැන්ඩි ප්‍රදේශයෙන් එංගලන්තයට එල්ල වූ නෝමන් ආක්‍රමණයෙන් පසුව පැරණි ඉංග්‍රීසි බස, නෝමන්-ප්‍රංශ වචන සහ අක්ෂර රීති විශාල වශයෙන් උකහා ගනිමින්, 'මධ්‍යතන ඉංග්‍රීසි බස' (Middle English) නමින් හැඳින්වෙන තත්වයට විකාශනය විය. ඉංග්‍රීසි භාෂාව හැඳින්වෙන 'English' වචනය බිඳී විත් ඇත්තේ 12 වැනි සියවසේදී ඇංගල්වරුන් (the Angles) භාවිතා කළ පැරණි ඉංග්‍රීසියේ 'englisc' යන්නෙනි.
'නූතන ඉංග්‍රීසි බස' (Modern English) මතු වූයේ 15 වැනි සියවසේ එංගලන්තයේ ඇති වූ 'the Great Vowel Shift' (මහා ස්වර විපර්යාසය) ලෙස නම් කෙරෙන විශාල උච්චාරණ වෙනස්කම් සමගය. ඉංග්‍රීසි බස අදටත් විවිධ විදේශ භාෂාවලින් වචන උපුටා ගන්නා අතර නව වචනද එයට එකතු වෙමින් පවතී. ඉංග්‍රීසියේ වචන ගණනාවක් - විශේෂයෙන් පාරිභාෂික වදන් - ලතින් හා ග්‍රීක මූලයන් පදනම් කරගෙන නිර්මාණය වී ඇත්තේය.
ඇතැම් අය ලොව ප්‍රථම ජාත්‍යන්තර සම්බන්ධීකරණ භාෂාව ලෙස හඳුන්වන නූතන ඉංග්‍රීසිය, අදහස් හුවමාරුව, විද්‍යාව, ව්‍යාපාර, ගුවන් ගමන්, විනෝදාස්වාදය, ජනමාධ්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු යන සියළු අංශවල ප්‍රධාන මෙන්ම ඇතැම් විට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර බස වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වර්ධනයත් සමග එහි බ්‍රිතාන්‍ය දූපත්වලින් ඔබ්බට ව්‍යාප්ත වීම ඇරඹි අතර, 19 වැනි සියවසේ අවසාන කාලය වන විට එය සැබෑ වශයෙන්ම ලොව පුරා පැතිරී තිබිණි. බ්‍රිතාන්‍යය විසින් උතුරු ඇමරිකාව අත්පත් කර ගැනීමෙන් අනතුරුව එය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රධාන භාෂාව බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ තව දුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සංස්කෘතික බලපෑම සහ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු එය ලොව සුපිරි බලවතෙක් (global superpower) බවට පත් වීම ඉංග්‍රීසි බසේ ලොව පුරා ව්‍යාප්තිය වඩාත් වේගවත් කිරීමට මහත් සේ ඉවහල් වී ඇත.
ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් තිබීම වෛද්‍ය විද්‍යාව, පරිගණක තාක්ෂණය වැනි අංශ හා වෘත්තීන් ගණනාවක අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික පිරිසක් මූලික මට්ටමෙන් හෝ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළ භාෂා හයෙන්ද එකක් වේ.
ඇතැම් භාෂා විශාරදයන් පවසන පරිදි - අනෙක් ලෝක භාෂා සම්බන්ධයෙන් මෙන්ම - ඉංග්‍රීසියේ අති විශාල වර්ධනයේ එක් ප්‍රතිඵලයක් වී ඇත්තේ ලොව බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ඕස්ට්‍රේලියා-ආසියා කලාපයේ හා උතුරු ඇමරිකාවේ, දේශීය භාෂා විවිධත්වය අඩු වීමය. එහි ප්‍රබල බලපෑම ඇතැම් භාෂා හෝ ඒවාගේ යම් අංග ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වීමටද තව දුරටත් ඉවහල් වෙමින් පවතී. එසේම, භාෂා විපර්යාසයන්හි සංකීර්ණ හා වෙනස්වනසුළු රටා හඳුනන ඉතිහාසමය භාෂා විශාරදයන්ගේ (historical linguists) අවබෝධය වී ඇත්තේ, ඉංග්‍රීසිය භාවිතා කරන ප්‍රජාවන්ගේ විශාලත්වය සහ පැතිරීම මෙන්ම නොයෙකුත් උප භාෂාවලින් සමන්විත ඉංග්‍රීසියේ ස්වභාවයෙන්ම ඇති අභ්‍යන්තර විවිධත්වය නිසා ඒ තුළින් කාලයත් සමග එකිනෙකට වෙනස් වූ භාෂා සමූහයක් පැන නැගීමටද ඉඩ ඇති බවය.
ජාත්‍යන්තර ඉංග්‍රීසි භාවිතය තුල ඇති විවිධත්වය 
ශ්‍රී ලංකාව 1815 දී සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වීමෙන් පසුව ඉංග්‍රීසි ලංකාවේ පරිපාලන භාෂාව බවට පත් විය. එතැන් පටන් 1948 වන තුරුම ලංකාව ඔවුන්ගේ පාලනයට සෘජුවම ලක් වී සිටි නිසා ඒ වන විට මෙරටට ඔවුන්ගේ බසේ ආභාෂයත් සෑහෙන දුරට ලැබී තිබිණි.
ඒ අවධියේ ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රමිතිය හැටියට සැලකුණේද බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි භාවිතයයි (British English usage). ඊට හේතුව වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලොව පුරා පැතිරුණ යටත් විජිත ඇතිව ඉතා බලවත් තත්වයක පැවතීමයි. කොතරම් ව්‍යාප්ත වී තිබුණාද කියතොත් එය 'හිරු නොබසින අධිරාජ්‍යය (the Empire on which the sun never sets)' ලෙසද හැඳින්විණි. (එනම් ඕනෑම වෙලාවක එයට අයත් වූ කිසියම් කොටසකට හිරු පායා තිබිණි.)
නමුත් 1939-1945 දී පැවති දෙවන ලෝක සංග්‍රාමයේදී (Second World War, World War II) බ්‍රිතාන්‍යයට විශාල පාඩු විඳීමට සිදු විය. එමෙන්ම ඒ වන විට බොහෝ යටත් විජිතවල නිදහස ලැබීමේ ව්‍යාපාර දියත් වී තිබූ නිසා, ලෝක යුද්ධයේදී එම රටවලින් උදව් ලබා සිටි බ්‍රිතාන්‍යයට ක්‍රම ක්‍රමයෙන් ඒවාට නිදහස ලබා දීමට සිදු වූවේය. ඔවුන්ගේ අධිරාජ්‍යයේ බලය මෙසේ පිරිහී ගියේය.
මේ කාලය වන විට ඇමරිකා එක්සත් ජනපදය (United States of America, U.S.A.) ආර්ථික වශයෙන් බල සම්පන්න රාජ්‍යයක් බවට පත් වී සිටියේය. බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපයේ (Europe) අනෙකුත් රටවල්ද යුද්ධයෙන් විනාශයට පත් වී තිබීම ඇමරිකාවේ කැපී පෙනීමට තවත් හේතු විය. ඇමරිකාවත් බ්‍රිතාන්‍යට යටත්ව තිබී කලින්ම නිදහස ලබා තිබූ ජනපදවල එකතුවක් වූ නිසා එහි රාජ්‍ය භාෂාව වී තිබුණේද ඉංග්‍රීසියය. නමුත් ඔවුන් ඉංග්‍රීසි භාෂාව භාවිතා කළේ බ්‍රිතාන්‍ය සම්මතයට අනුවම නොවේ.
ඇමරිකාවේ නැගීමත් සමග ඔවුන්ගේ භාෂා ව්‍යවහාරයත් (American usage) ලොව තුළ පුමිතියක් ලෙස පිළිගැනීමට ලක් විණි. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා සමහර රටවල බ්‍රීතාන්‍ය සම්ප්‍රදායද, එනෙක් රටවල ඇමරිකානු සම්ප්‍රදායද අනුගමනය කෙරෙන්නට ගැනිනි. ශ්‍රී ලංකාවේ නම් අදටත් යොදා ගැනෙන්නේ මූලික වශයෙන් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියය. නමුත් ආර්ථික බලයත් සමග ඇමරිකාව විවිධ මාධ්‍ය ඔස්සේ අද ලෝකයේ ලබා තිබෙන සංස්කෘතික ආධිපත්‍යය (cultural dominance) නිසා ඔවුන්ගේ ව්‍යවහාරය ශ්‍රී ලංකාවටද දැන් - අඩු තරමින් විදේශීය මාධ්‍ය ඔසසේ - වැඩි වැඩියෙන් අත් දකින්නට ලැබේ. මේ සම්ප්‍රදායයන් දෙක අතර ඇති වෙනස්කම් විවිධාකාරය. [පහත දැක්වෙන උදාහරණ කිහිපයේ මුලින් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායත් (British form), - ලකුණට පසුව ඇමරිකානු සම්ප්‍රදායත් (American form) දක්වා ඇත.]
  • lift– elevator විදුලි සෝපානය
  • note / banknote – bill මුදල් නෝට්ටුව
  • bonnet – hood (of a car) බොනට් එක (මෝටර් රථයක)
  • boot – trunk (of a car) ඩිකිය (මෝටර් රථයක)
  • windscreen – windshield වාහනයක ඉස්සරහ වීදුරුව
  • lorry – truck ලොරිය
  • car park – parking lot රථ ගාල
  • roundabout - traffic circle / rotary මාර්ග වටරවුම
  • merry-go-round / roundabout – carousel මෙරි ගෝ රවුම
  • roundabout - merry-go-round බඹර ඔන්චිල්ලාව (ළමා උයන්වල ළමයි නැගී කැරකෙන රෝදය)
  • Ferris wheel – big wheel කතුරු ඔන්චිල්ලාව
  • railway – railroad රේල් පාර
  • railway carriage / coach – railcar / car දුම්රිය මැදිරිය
  • postman – mailman / postman ලියුම් බෙදන්නා
  • flat - apartment මහල් නිවාසය
  • ground floor – ground floor / first floor (ගොඩනැගිල්ලක) බිම් මහල
  • first floor – second floor පළමු මහල (බිම් මහලට ඉහළ මහල)
  • aluminium - aluminum ඇලුමිනියම්
  • aeroplane - airplane ගුවන් යානය
  • petrol - gasoline/gas පෙට්රල්
  • pavement - sidewalk පදික වේදිකාව (ඇමරිකානුවන් pavement කියන්නේ පා‍රේ වාහන යන කොටසටයි)

No comments:

Post a Comment